Wednesday, April 25, 2018

අධිරජ දර්මාසෝක

අධිරජ දර්මාසෝක කතාවෙ

අසෝකා සූර අසෝකා ඡන්ඩාසෝකා වෙලා කාලිංග යුද්දෙ දිනලා පස්සෙ බණ අහලා ආයෙ ධර්මාසෝකා වෙලා ඒ කතාවෙ දෙවනි කොටස "අධිරජ ධර්මාසෝක 2 සසුන්ගත මිහිඳු " කතාවෙ මිහිඳු මහරහතන් වහන්සෙ ලංකාවට ඇවිල්ලා තිස්සට බණ කියලා ඔහොම්මම තිස්සගෙ ඉඳන් දුටුගැමුණුලා පරාක්‍රමබාහු ලා දඹදෙනිය යාපහුව කුරුණෑගල ගම්පොල කෝට්ටෙ පහුකරන් පෘතුගීසි ලන්දේසි ඉංග්‍රීසි සීන්, නුවර යුගෙන් පස්සෙ බ්‍රිතාන්‍යට යටත් වෙලා ඡන්ද බලේ හම්බෙලා නිදහස අරගෙන ඩී එස් අගමැති වෙලා බණ්ඩා ඇවිල්ලා මැතිණි ඇවිල්ලා ජවිපෙ කැරලි ගහලා ජේආර් ප්‍රේමදාස ප්‍රබාකරන්ගෙ සීන් පෙන්නලා.. අප්පච්චී යුද්දෙ දිනලා ආණ්ඩු කරලා පැරදිලා සිරිසේන ජනාධිපති වෙලා රනිල් අගමැති වෙච්ච සීන් එක පෙන්නන දවසට...

නිව්ස් හෙඩ් ලයින්ස් යනවා.

"එක්සත් ජාතික පක්ෂයේ ශ්‍රේෂ්ඨ උත්තරීතර නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් සීගිරියේ සවි කරන ලද පිටසක්වල අභ්‍යාවකාශ විදුලි සෝපාන සංකීර්ණයේ සිට ඇන්ඩ්‍රෝමිඩා චක්‍රාවාටයේ එක්සත් තරුණ සමුළුව අමතමින් කල විශේෂ කතාව මීළඟ පුවත් විකාසයෙන් බලාපොරොත්තු වන්න...."

#අකලංකාරය
- චමල් අකලංක පොල්වත්තගේ

Saturday, April 14, 2018

සුබ අලුත් අවුරුද්දක් වේවා..!!

අමිතා වැදිසිංහට අනුව මන්ද කොහා හැංගිලා හඬලන්නේ ලන්ද දිගේ රුක්අත්තන මල් පිපුණ නිසා හෝ කන්ද උඩින් හඳ පායන ලීලා නිසා ද හෝ විය හැකි වුවත් මල්ලිට මිහිරට සීපද ගීත ගයන්නට කියා හංදියේ අවුරුදු එද්දී නංගිට මුවා වෙන්නට කියා සුනිල් එදිරිසිංහ කීම ස්ත්‍රීවාදී කෝණයෙන් බලනා කල වැරදිය. සල්මාන් ඛාන්ලා හැමතැනම ඉන්නා අතර පොසොනුත් ළඟ නිසා තිස්ස අත්තනායක එම් හේරත් ලා ද නිතර ටීවී රේඩියෝවල ගැවසෙයි. .කොහොමහරි ඒ වෙලාවේ කිරි උතුරෝන නැකතේදී ටීවි එකේ ගියේ නන්දා මාලනීගේ මාල පබලු වැල් කරවට ලන්නට දවසක් ඒවිලු බිනර මහේ... බිනර මහේ. ගීතය නිසා එය ඇසී ඇහැරුන මා බැලුවේ යකෝ නොනගතේ වෙලාවේ නිදාගෙන සැප්තැම්බර් මාසෙන් ඇහැරුනේ කොහොමද කියා ය.

සැප්තැම්බර් කියන්නේ බුක් පෙයාර් මාසය නිසා තෝඩු අරුංගල් නෙමෙයි ඒ කාලෙට අතේ කරේ එල්ලන් එන්නේ පොත් ය. ඇඳුම් මාල කරාඹු එල්ලන් එන්නේ අවුරුදු කාලේ වන අතර ඇඳුම් ගැනීමට ගිය සිය බිරිඳ වූ මැංගිරි ඩිනිකා අතුරුදන් වීම නිසා ඇය සොයා "බා බා බා කිකිළී.. ඊයෙ උදේ ගිය කිකිළී.. තාම ආවෙ නෑ කිකිළී.. බා බා බා... කියන්නේ ලයනල් රංවල ය... ඔය බා බා බා කෑල්ල දමා ඇත්තේ චතුර සේනාරත්න කුඩා කාලයේ රංවල බලකායේ ලයනල් රංවලට ජන ගී හොයා දෙද්දී බවට රාවයක් ඇත. ලයනල් රංවල එහෙම කිව්වාට බෙග් මාස්ටර්ගෙ කාලේ ගෑනු ළමයි නං ඔය කෝලම් කර නැති අතර ගමේ ළඳුන් කොමල පපා උදේ රබානක් පැලුවා.. කියන්නේ ඒකය. ගෑනු ළමයි රබාන පැලුවාට මිල්ටන් නීලානං කියන්නේ රබාන රත්වෙන නැකත් වෙලාවට නලාව පිඹපං කොහෝ කොහෝ කියා ය.  කොහෝ කියන්නද නලාව ගහන්නද කියලා එකක් හරියට කියහන් මිනිහෝ කියා කොහා බැන්න කතාව සින්දුවේ නැත.

කොහොම හරි අපේ ගම්වල නැකත් වෙලාවට කොහා තියා කපුටෙක්වත් කෑගහන්නේ නැති අතර ඒ වෙනුවට කෑගහන්නේ ටීවී එකේ ජෝතිස  බුවා ලා ය. අද කිව්වේ නැගෙනහිරට කිරි ඉතිරීම වාසනාවන්තය කියාය. මං හිතුවේ අවුරුද්දේ වාසනාවන්තම දේ ජනාධිපතිතුමාගේ මැසේජ් එක උදේපාන්දර ලැබීම බවය. කෙසේ හෝ වැඩි වාසනාව ලබා ගැනීමට මුට්ටියේ කටේ නැගෙනහිර පැත්තේ කෑල්ලක් කඩා කිරි ඉතිරී යාමට මා යෝජනා කලත් අම්මා කිව්වේ වැඩ අල්ලන නැකතට කොකිස් අච්චුවෙන් පිටේ පච්චයක් කොටන්න කලින් මල පෙරේතයා වගේ නොඉඳ මූණ හෝදන් වරෙන් කියාය.
ඒ යනාතර දැක්කේ පැමිණ ඇති සුබ පැතුම් කෙල කෝටියකි.. එසෙමෙස්ද පේස්බුක්ද වයිබරයද වට්ෂැපයද මැසේන්ජරයද බැද්දට මල්වරුසාවක් වැස්සා වගේ පිරී ඇත. සියල්ලෝ ආදරෙන් ඉන්නවානං ඒ මගේ අවුරුද්දය. රිප්ලයි කර අවසන් වෙද්දී සෝරත හාමුදුරුවෝ මහානායක වීමට ඉඩ ඇත.

ඉතින්..

සුබ අලුත් අවුරුද්දක් වේවා..!!
කෙසේ හෝ එසේම වේවා..!!
.

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

Friday, April 6, 2018

ගමට කලින් හිරු

===  ===

නිර්ජනන වාදය හෝ දරුවන් හැදිය යුතුද නැතිද හෝ පිළිබඳව පවතින තත්වයට සාපේක්ෂව කුමන නිර්වචන හෝ කියවීම් තිබෙන්නට පුළුවන. ජනිතයන් බිහි කිරීම හා රැකබලා ගැනීම වර්ගයාගේ පැවැත්ම තහවුරු කරගැනීමේ ක්‍රියාවලිය හා දාරක ස්නේහය අතර පවතින සම්බන්ධය ගැනද විවිධ නිර්වචන ද තිබිය හැක.

ඒවා මොනවා උනත් ඒ සෙනෙහස ආදරය අපූර්ව මැවීමක් වන වන බව මම අවිවාදයෙන් පිළිගනිමි. මම එයට ආදරය කරමි.

ඒ වගේම සාහිත්‍යය හෝ කලාව තුල මිනිසා තමන්ගේ පරිකල්පනය, ඒ දාරක ස්නේහය සම්බන්ධයෙන් වස්තුබීජ කරගෙන කරන ලද නිර්මාණයන්ටත් මම අතිශයින් පෙම් කරමි. මිනිස් හදවත තමන්ට දැනෙන ආදරය සෙනෙහස ප්‍රකාශ කරන ආකාරයේ ඇති ප්‍රේමණීය බව මම මේ නිර්මාණ වලින් අත්විඳිමි.

‍රජරට වියලි කලාපයේ ජනතාව අදටත් ගෙවන්නේ අතිශය දුක්සහගත ජීවිතයකි. එදා ඒ දෙමාපියන් තම දරුවන් අව් වැසිවලින්ද සතුන්ගෙන්ද අදටත් මුහුණ දෙන දරිද්‍රතාවයෙන්ද මුදවාගෙන රැකබලා ගැනීමට යෙදුන පරිශ්‍රමය ගැන ලංකාවේ සාහිත්‍ය කියනා අඳෝනාව ඕනෑම හදවතක් කම්පා කරවන සුළුය. දවසක් පැල නැති හේනේ, විමලරත්න කුමාරගමගේ පද්‍ය වලින් ආදියෙන් එලියට එන්නේ වන්නිය රජරට අදටත් මුහුණ දෙන ශාපයේ අඳෝනාවයි.

මේ ලියන්නේ චමල් අකලංක පොල්වත්තගේ මේ ගීයගැන දකින ආකාරයයි. එය රචකයාගේ අර්ථයට හාත්පසින් වෙනස් වියහැක.

වෙන ගී වල කාන්තාවට අම්මාට සඳකි කිව්වාට මෙහි ගමට කලින් එන හිරු වන්නේ අම්මාය. හිරුගෙන් බලය රශ්මිය ජීවයේ පැවැත්ම ආරක්ෂාව නිර්වචනය කරන අතර සඳෙන් සෞම්‍ය ගුණය නිර්වචනය කරයි. නමුත් මේ පවුලේ හිරු අම්මාය. ඇය හිරු පායන්න කලින් අවදිවෙයි.මේ පියා නොමැති පවුලක් කියා මට හැඟෙයි.
මා කුඩා කාලයේ පාසල් යාමට අම්මා එලාම් එක තියන්න කියන්නේ 4:30 ටය. මම එය තියන්නේ 4:45 ට 50 ටය. ඒ විනාඩි 15 ලොකු නින්දක් නොලැබුවත් අම්මා අපි ගෙදර ආ පසු උදෙන් ඇහැරීම නිසා හිස රිදීම ගැන කීම මට බොහෝ රිදුම් දෙයි. අපේ පවුලේ අම්මා ඉටුකලේ සඳේ භූමිකාව යි.

නමුත් මේ පවුලේ අමමා හිරු වී ඇත. පවත්නා දරිද්‍රතාවයෙන් ගොඩ ඒමේ විකල්පය අධ්‍යාපනය බව ඇය දනියි. දරුවන්ගේ ජීවිත එලිය වන්නේ එයින් බව ඇය දනියි. ඉතින්  දරුවන්ට එලිය  ලබා දීම සඳහා ඇය හිරු වී ඇත.  නැණ මල් යනු නුවන නැමති මල් ය. මල් පිපීමට ඕනෑ  එලිය ලබා දෙන හිරු අම්මාය.
දැන් මේ පුත්‍රයා කරන්නේ මතක ආවර්ජනයකි. ඇගේ හිරු රශ්මියෙන් පිපුණු මල් අද සුවඳ විහිදවමින් පිපී ඇත. ඉතින් ඇයට තව අවශ්‍ය කුමක්ද. ඇය ලොව්තුරු සුවය විඳියි.
ඇයි මේ ගීයට අනුරාධපුරේ තිසා වැව. බසවක්කුලම නොගත්තෙ. ඇයි තිසා වැවේ නිල් දියවර අපෙ අම්මා නොවුනෙ.
මට හිතෙන්නේ එසේ වූයේ දාරක ස්නේහයේ අඳෝනාවේ රැලි නංවන්නේ කලා වැව වීම නිසා එසේ ලියන්නට ඇති බවයි. කලා වැවේ දියවරේ දියවී ඇත්තේ ධාතුසේන රජුගේ රුධිරයයි. සිය පුත්‍රයා වූ කාශ්‍යප විසින් වැව් බැම්මට තබා ඝාතනය කරන ලද කාශ්‍යපගේ අඳෝනාවයි. කාශ්‍යප වස්තුව ඉල්ලන විට පියා පෙන්වූයේ කලාවැවයි . එකල රජෙකුට ස්වයංපෝෂිතව රාජ්‍ය කරගෙන යාම සඳහා අවශ්‍ය වූ ප්‍රධාන සාධකය වූ රජරට හිඟ වූ ජලය එක්කර මහා වැවක් සෑදුවේ ධාතුසේනය. පුතා වස්තුව ඉල්ලූ විට ඔහු මේ මගේ ධනයයි කියා කලාවැව පෙන්වන්නට ඇත්තේ කොහොම සෙනෙහසකින්ද..
කලාවැව අදටත් මුහුදක් මෙන් රැලි නංවයි. ඒ රැල්ලක් ගානේ දාරක ස්නේහය ගැබ්ව ඇත. සහ මේ ගීයේ පීතෲ භූමිකාවද හොබවන්නී අම්මාය.

අධ්‍යාපනය අවසන් කර රැකියා සඳහා පිටව ගිය දරුවන් එනතුරු ඇය රැය පහන් කරයි. වියපත් වුවත් නින්ද කෙතරම් ඕනෑ වුවත් ඇය තවමත් දරුවන් මීළඟ දිනයට පිටව යාමට අවශ්‍ය කටයුතු සම්පාදනයට සිහින දකියි.
මේ පවත්නා සමාජ ක්‍රමය ඇතුලේ පියෙක් සිටියද කාන්තාවකට ජීවත් වීමට නොහැකි  තත්වයකදී අතිශය දුශ්කරව සිය දරුවන් උස් මහත් කර ඔවුන්ගේ අරමුණු ඉටු කරයි.
ඉතින් ඇය බුදුන්ට මව වීමට නුසුදුසු වන්නේ ඇයි..?
වරදවා වටහා ගන්න එපා ස්ත්‍රීවාදී කෝණවලින්. රජරට පවත්නා සංස්කෘතික රාමුවට සාපේක්ෂව හා ඒ සමාජ ආර්ථික පද්ධතියට සාපේක්ෂව මෙය විමසිය යුතුයි.

සිංහල බෞද්ධ සාම්ප්‍රදායික කාන්තාවගේ ජීවිතය මැදිවියේ සිට බලාපොරොත්තුව වන්නේ ආගමිකව ජීවිතය ගත කිරීමයි. නමුත් ඒ බලාපොරොත්තුවත් ඇයට සිත්සේ ගතකිරීමට නොහැකි වන්නේ ඇගේ දරුවන් කෙරෙහි පවත්නා වගකීමත් සෙනෙහසත් ඊට එරෙහි වන නිසාය. වෙල් දෙණිවල ඇවිදින්නේ දර හෙවීමටය., එදාපටන් සිදුකල ජීවිකාව කිරීමටය. ඉතින් ඇයට ආගමික ජීවිතය ගත කිරීමට කාලය නොමැත. ඒ නිසාම ඒ ඇහෙන කුරුල්ලන්ගේ සද්දය බණ පද  වෙන්න කියා රචකයා ප්‍රාර්ථනා කරයි. වෙන ගීතවල අම්මා බුදුවෙන්න කීවද මෙහි එසේ නොකියයි. කියන්නේ විශාකාව වෙන්න කියාය. එක්කෝ එයින් අදහස් වන්නේ බුදු වෙන්න තරමට ඇයට ඇගේ බලාපොරොත්තු වන ආගමික ජීවිතය ගත කරන්නට දරුවන් නිසා නොලැබුන බවය. ඒ වගේම බුදු වූ පසු නැවත නූපදින නිසා ඇයට විශාකාව වන්නට කියන්නේ ඇගේ දරුවෙක්ම වී ඉපදීමටය. එසේත් නැතිනම් ඇයට දරුවන් නිසා ඇය බලාපොරොත්තු වන ආගමික ජීවිතය ගත කිරීමට නොහැකි වුවත් ඇය විශාකා වගේම ආගමට ලැදි දැහැමි කාන්තාවක් බවය.
අලි ඇතුන් යනු තමන්ගේ දරුවන්ට ඉතාමත් ආදරය සෙනෙහස දක්වන සතුන් ය. රංචුවේ ඉපදෙන පැටවෙක්ව රංචුව විසින්ම බලාගනියි කියා මා අසා ඇත.  ඒ උපමාව ගීයට යොදාගන්නට ඇත්තේ ඒ නිසාය කියා සිතෙයි.
.
.
ගමට කලින් හිරු මුළුතැන්ගෙට වඩනා
ඒ හිරු එළියේ නැණ මල් පොඩි පිපුනා
ඒ මල් සුවඳේ අද ලොව්තුරු සුව විඳිනා
කලා වැවේ නිල් දියවර අපෙ අම්මා....

රෑ කළුවර අරගෙන දරුවන් එනතුරු සිත නෑ නිවන් දකින්නේ
රෑ කළුවර ඇවිදින් ඉකිබිඳ හැඬුවත් සිත නෑ නිදි විඳ ගන්නේ
හෙට අරුණට සැරසෙන තව දවසක් ගැන නින්දේ හීන දකින්නේ
මහ මායාවනි කවදාදෝ ඔය නෙත් දරු සෙනෙහසින් මිදෙන්නේ.....

ගමට කලින් හිරු....

වෙල් දෙණිවල ඇවිදින දෙපා රිදෙන විට විහඟ ගීත බණ පද වේවා
බෝ මළුවට ඇවිලෙන පහන් වැටක් වී තුන් සිත නිවී සැදේවා
මතු උපදින සසරේ විශාකාව වී මෙත් මග නෙත් හමුවේවා
ඇත් රැජිණියනේ ඔබෙ නැලවිලි ගීතය ලොවම නිවන කවියක් වේවා..

ගමට කලින් හිරු....

ගායනය - කරුණාරත්න දිවුල්ගනේ
පද රචනය - සුනිල් දයානන්ද කෝනාර
සංගීතය - සුනිල් දයානන්ද කෝනාර

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

Thursday, April 5, 2018

සල්මාන් හිරේ.. යහපාලනේ මේකද..

සල්මාන්ව හිරේ දමා ඇත කියා ප්‍රවෘත්තියක් දැක්කෙමි. සෞදියෙ උන් සතේකට ගණන් ගන්නැති ලංකාවේ කලවම් ඔටුවන් කියන්නේ ගෑනුන් අනිවාර්‍යයෙන් බුර්කාව ඇඳිය යුතුය කියාය. නමුත් ඉස්ලාම් හදවත වූ සෞදියේ ඔටුන්න හිමි කුමාරයා වූ සල්මාන් කිව්වේ බුර්කාව අනිවාර්‍ය නෑ කියාය. කෙසේ හෝ අවුරුදු දෙදාස් පන්සීයක් තිස්සේ පවතින සංස්කෘතික ගොංපාට් වලට ගොංපාට් කියා කීමට හැකි උන්ට කෙලවීමේ සම්භාවිතාවය වැඩි නිසා ඌටත් දරුවා ලැබී ඇත කියා හිතුවාට හිරේ දමා ඇත්තේ ඉන්දියාවේ සල්මාන් ය. ඉන්දියාවේ උන්නං අනේ මන්දා වන අතර මුවා මැරුවත් මොකෝ රඟපෑවනෙ..!! විදේස විනිමය උපයාදුන් රට බේරාගත් නළුවිරුවාගෙන් පළිගැනීම නවතනු..!! , කියා පෙළපාළියක්වත් යාමට කළගුණ දන්නේ නැති අඩුකුලේ පරහැත්ත ය.
අපේ සරල ජනාධිපතිතුමා හෝ බයනැති අගමැති තුමා හෝ හිටියානං කෙසේ හෝ බන්ධනාගාර රෝහල් ගත කර ඇපල් බා දී ගෙදර යවනවාය.

ඌ දඩයමේ යද්දි කවුරුත් සල්මාන් සල්මාන් ගා කතා කර නැති අතර එතන " නහී නහී සල්මාන් චෝර මෙරා මුවා.."" කියා කෑගසා, වෙඩි තියද්දී තුවක්කුවේ එල්ලීමට අයිස්වර්‍යා හෝ ජැකලින් හෝ සිට නැත.
ජැකලින් එක්ක සල්මාන් ආවේ ඔනරබල් අප්පච්චිගෙ ඡන්ද කැම්පේන් එකට ඔනරබල් නාමල් නීතීඥ තුමාගේ ඉල්ලීමට වන අතර එවැනි ජාත්‍යන්තර සම්බන්ධකම් පවත්වාගෙන යාමට අපේ උන්ට පින නැත.
කෙසේ හෝ එදා මීටිමේදී, රටක් රාජ්ජයක් බඳු වූ ද, එක්වර දුස්ටයන් අටලොස් අකෞෂණියකට හල්කාණන් මෙන් පහර දෙන්නාවූද, එක් බැල්මෙන් සුරඟනන් බඳු අඟනුන්ගේ හදවත් පුච්චා කරකුට්ටම් කරන්නාවූද, භාරතයට අබිමානයක් වූ ද, බොලිවුඩයේ අර්ජුන කමලනාත් වූද , සල්මාන් ඛාණ් රංගබයිසිකල් හැඬල්ධරයාට සිය පරම හතුරා වූ සාරුක්කාන් ගේ නම කියා අමතා ජාත්‍යන්තරය ඉදිරියේ ටසිරිලක ඒවන විට ඇඳසිටි දියරෙද්ද ද ගලවා දැමුවේ ඔනරබල් සුමතිපාලය.
එදා තුවක්කුවක් තිබුනාණං මරන්නේ මුවා නොව අස්සයාය. දඩයම කෙසේ වෙතත් සලමාන් සම්මාන ගද්දී කුඹුක්ගැටේදී සමනලී ගුටි කෑ අතර රටකට ඕනේ අපමණ අගය ලබා දීමට පැමිණි ඔනරබල් සිරිසේන උතුමාණන් විසින් ඒ පහරදුන් ඔනරබල් මැම්බර්ට සංවිධායක පට්ටමක් ද ලබා දුන්නේ කලගුන සැලකීමටය. ලංකාවටම විස්සාසබංගයක් ගෙනල්ලා රටම අහෝසි කර දාන්න ඕනේ කියා හිතෙන්නේ ඔය වෙලාවටය.

කෙසේ හෝ සල්මාන්ගේ මුවමස් ඊයේ කතරගම කඩදොර දේවාලයේ සීතකරණයක තිබී පොලීසියෙන් අල්ලාගෙන ඇති අතර., මට තියන ප්‍රස්නය වන්නේ දඩමස් සීතකරණයක නැතුව පිංකැටේට දාන්නද කියාය.
අනිත් එක හැමදාම පලතුරු ආහාරයට ගැනීම නිසා දෙයියෙක්ට උනත් ප්‍රෝටීන් ඌණතා ඇතිවීම ගැන පොලීසිය මීට වඩා දේවසිකව ( මානුසික යෙදෙන්නේ මනුස්සයන්ට නිසා ) සිතිය යුතුය.

දැන් ඒ වරදට සල්මාන්ට දඬුවම් කර හිරේට නියම කර ඇති අතර මගේ බලාපොරොත්තුව ඉතින් ලංකාවේ නීතියේ කුමරා වූ ද , වාර්තාගත ලකුණු ගන්නා ලද්දාවූද ඔනරබල් නාමල් විසින් සල්මාන්ගේ නඩුව කතා කර ඔහුව බේරා ගෙන ඔහු ජනාධිපති වූ මතු දිනක චිත්‍රපට සංස්ථාවේ සබාපති කර රටත් ජාතියත් ආගමත් බේරාගන්නට කියාය.

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

Monday, April 2, 2018

සිංහල ක්ලාස් එක


පහුගිය දෙසැම්බර් වලට මාස  තුනකට විතර කලින් මගෙ යාළුවෙක් කතා කරලා කිව්වා චමලෙ මචං මම පොඩි එකෙක්ට සයන්ස් ක්ලාස් එකක් කරනවා.උඹට සිංහල කරන්න පුළුවන් ද. කොල්ලනං දුර්වලයි කියලා. ඕලෙවල් වලට මාස තුනක් තියාගෙන වගකීම බාරගන්න බැරි හින්දා මම අදිමදි කලාම ඒ දරුවගෙ තාත්තා කතා කරලා කිව්වා පුතා අනේ මට මේක කරලා දෙන්න හදිස්සියෙ කවුරුත් හොයාගන්න බෑ. අපේ පුතා සිංහල වලට හොඳටම අවුල් කියලා.

ඊට පස්සෙ මම බැරිම තැන කිව්වා මට දරුවගෙ තත්වෙ බලන්නෙ නැතුව හරියටම වගකීම ගන්න බෑ මාස දෙක තුනකින් ගොඩ දාන්න පුළුවන් කියලා..  

ඒකට කමක් නෑ මේ වෙලාවෙ මොකක් හරි කරලා දෙන්න ලොකු උදව්වක් කියලා.

පස්සෙ මගෙන් ගාණ ඇහුවම කිව්වා අනේ පුතා ස්ථිර රස්සාවක් නැති තාත්තා කෙනෙක් මම. පුළුවන් දෙයක් කරන්න කියලා. 

හරි කමක් නෑ කවුරුහරි ඉගෙනගන්න එකෙක්නෙ කියලා තව පන්සීයක් අඩු කරලා ක්ලාස් එක කරන්න ගියා.

ගොඩක්ම හේතුව උනේ පොඩි කාලෙ ඉඳන් එකට ඉගෙනගත්ත යාළුවා කියපු එක.

කොහොමහරි පළවෙනි දවසෙ ගිහින් කොල්ලා එක්ක කතා කලා. 

උස මහතයි. වල බැහැලා ඉන්නෙ කියලා තේරුනා. කොළඹ ප්‍රසිද්ධ ඉස්කෝලෙක ඉගෙනගන්නෙ.

තත්වෙ බලාගන්න පොඩි ප්‍රශ්ණ ටිකක් දුන්නා.  

කියන්න සංතෝසයි " මම ගමට ගියා.." කියලා ලියන තත්වෙ හිටියෙ කොල්ලා.

උත්තර දීපු හැටියෙන් තේරෙනවා කොල්ලා ලකුණු 30  ක වගේ සීමාවක ඉන්නෙ කියලා. ටර්ම් ටෙස්ට් වලටත් තිස් ගණන්.

ඒ ටික කියලා දීලා

කොල්ලා එක්ක මල්ලි කියලා කතා කලා. 

මේකයි අයියෙ සීන් එක කියලා රැප් සීන් එකේ කතා කරන්නෙ පොර. පොඩි කාලෙ ඉඳන් පන්ති කට් කරලා. කොල්ලො එක්ක රස්තියාදු ගහලා. වල බැහැලා. පිටිපස්සට වෙලා ඉඳගෙන ටීචර්ලට සද්දෙ දදා ඉඳලා දැන් හෝඩියවත් බැරි තත්වෙක ඉන්නෙ. ඌ බයික් වලට වාහන වලට ආසයි. ඒ පැත්තෙන් බිස්නස් එකක් කරන්න ඕනෙලු.

මං ඉතින් කිව්වා.

මං මේ ආවෙ මගෙ යාළුවා කියපු හින්දා. උඹ පොඩි එකෙක් නෙමෙයිනෙ බං. මාත් උඹ වගේම පිස්සු කෙලපු එකෙක් තමයි. තාම එහෙම තමයි. උඹෙ ඉස්කෝලෙට ළඟම එකක තමයි මාත් ඉගෙනගත්තෙ.. ඒක හින්දා උඹලෑ උන් ගැන මට අමුතුවෙන් කියන්න ඕනෙ නෑ.

හැබැයි උඹට බිස්නස් එකක් කරලා ගොඩයන්න හරි ඕලෙවල් ඕනෙ. 

උඹ සිංහල වලට ලයිට් කණුවක් ගත්තොත් ඔක්කොම විනාසයි. උඹට කෙල්ලෙක්වත් කැමති වෙන්නෑ. ගෙදරින් උඹව ගණන් ගන්නෙත් නෑ. දැන් ඉන්න උන් උඹ එක්ක ඉන්නෙත් නෑ. උඹ කාලා බීලා ඕන මගුලක් කරගනින් මට කමක් නැ. හැබැයි මේ මාසෙ  පොඩ්ඩක් වැඩ කරපන් අපි S එකක් දාගමු. උඹට A අරන් දෙනව කියලා ටෝක් දෙන්න බෑ. උඹ ඉන්නෙ ෆේල් වෙන මට්ටමේ. ඒක හින්දා උපරිම ට්‍රයි එකක් දෙමු. මට ප්ලෑන් එකක් තියනවා. මං උඹට වැඩ ටික කරනවා උඹේ පැත්තෙන් වෙන්න ඕන ටික කරපන්. බැරි ඕන මගුලක් අහපන්. මං හැම රෙද්දම දන්නෙ නෑ. හැබැයි හොයලා හරි අනිවා කියනවා. උඹ මං උගන්නන විදිහට අකමැතිනං දැන්ම කියහන්. සල්ලි ඕන්නෑ මං යන්නං කියලා. ඔහොම තව ටිකක් කිව්වා.

ඔය ටික කියනකන් පෑන කරකව කරකව කොල්ලා බිම බලන් හිටියා.

හරි අයියෙ අවුලක් නෑ කියලා වැඩ පටන් ගත්තා..

සාහිත්‍ය පොතේ තියන ජාතක පත විචාර මූට ලියවන එක තේරුමක් නැති හින්දා S එකකට යන්න ප්ලෑන් එකක් ගැහුව.

1st paper එකෙන් ඉරි ගහලා හිස්තැන් පුරෝලා ගන්න ලකුණු ටික කෙලින්ම එකතු වෙනවා මුළු ලකුණු වලට. ඒක හින්දා ඒක ටාගට් කලා.

මොකද ඉරි 30 ක් ගැහුවොත් කෙලින්ම 30 ක්. එතකොට අනිත් රචනා සාරාංසය විචාර අවබෝධය දැන්වීම් ලියුම අත්පත්‍රිකා ඔක්කොගෙන්ම ගන්න ඕනෙ 15 යි විබාගෙ පාස් වෙන්න.

1 st paper එක එන්නෙ ටෙම්ප්ලේට් එකක්. උදාහරණයක් විදිහට අකාරාදී පිලිවෙල, ප්‍රස්තා පිරුළු ඉඟිවැකි උපමා ඔය වගේ එකම ටික එන්නෙ. අඩංගු දේවල් ටික විතරයි වෙනස් වෙන්නෙ.

ඒක හින්දා ටෙම්ප්ලේට් එකට අදාලව ව්‍යාකරණ ටික එකින් එක කලා. හෝඩිය අ යන්නෙ ඉඳන් ඉගැන්නුවා. හෝම් වර්ක් කරන්නෙ නෑ. දවසක් දෙකක් බලලා තාත්තට කියලා කොහොමහරි බලෙන් කෙරෙව්වා.

විචාර පාඩම් කරන්න වෙලා මදි. ඉතින් රචනාව ලියන්න පුරුදු කලා. මාතෘකාව බලලා ඒක කැලි පහකට බෙදාගෙන වචන 50  ගානෙ ඡේද බෙදලා 250 හදාගන්න. සාරාංසය, රාජකාරි ලිපිය. ,දැන්වීම , ඡේදය බලාගෙන උත්තර ලියන ටික.

ඔය ටික පරණ පේපර්ස් අරගෙන එකම දේ රිපීට් කර කර කලා. අද කියන එක හෙට මතක නෑ. 

කවි සින්දු විචාර උගන්නන්න ගිහින් දන්න කවියක්  කියපන් කියන්න කිව්වම දන්නෑ කිව්වා. සින්දුවක් කියන්න කිව්වම දන්නෑ කිව්වා. කොහොමහරි බල කරලා ඇහුවම කිව්වා '"ශාන්ති.." කියලා. ( ඔව් ඔව් අර රැප් එක තමයි ) ඉරාජ්ගෙ සින්දු අහනව කිව්වා. ගේමක් දීලා සින්දුව කටපාඩම්.

ආච්චිට හාල් ගරන්න දැන් මූට ප්‍රතිභාවයි ව්‍යුත්පත්තියයි සතතාභ්‍යාසයයි උගන්නපන්කො ඉරාජ්ගෙ සින්දු වලින්.

ගේමක් දීලා එකෙන් කියන්නේ ලංකාවේ දේශපාලන පාතාලය , මුඩුක්කු වල ජීවිතය , ආර්තික ප්‍රශ්න නිසා ලංකාවෙ තරුණයො දරුවො කුඩු වලට සහ අපරාධ වලට සම්බන්ධ වෙන ලොකු කතාවක් ය. එතකොට ඒක ගැන ඒවට සම්බන්ධ වෙන මිනිස්සුන්ට කතා කරන්න නං මහප්‍රාණෙන් උගන්නලා බෑ. ඒක සරලව කියන්න ඕනෙ. එතකොට ප්‍රතිභාව කියන්නෙ අපූර්ව වස්තු නිර්මාණය කරන්න තියන හැකියාවට. ඉතින් ගේමක් දීලා සින්දුව ලියපු මනුස්සයා අර ලොකූ දේසපාලන කතාවක් සරල තේරෙන රැප් එකකට දාපු එක තමයි ඒ මනුස්සයගෙ ප්‍රතිභාව.

එතකොට මෙහෙම ලියන්න උඹටයි මටයි බෑ. මොකද අර මුඩුක්කු වල සිද්දවෙන දේවල් ගැන දැනුමක් අවබෝධයක් තියෙන්න ඕනෙ. දේසපාලනේ ගැන දැනුවත් වෙන්න ඕනෙ.. සින්දුවෙ අන්තිමට චන්ද්‍රිකා නෝනගෙ කතාවක් තියනව. එහෙනං මොකක් හරි නිර්මාණයක් කරන්නනං ඊට සම්බන්ධ වටපිටාව ගැන ලොකු දැනුමක් ගන්න ඕනෙ. අන්න ඒකට අපි කියන්නෙ ව්‍යුත්පත්තිය කියලා.

එතකොට මේ රැප් එක එකපාර ලියන්න බෑ. ඒකට ලියලා ලියලම පුරුදු වෙන්න ඕනෙ. එතකොට නිරන්තරයෙන් අභ්‍යාසයෙ නිරත වෙන එකට කියන්නෙ සතතාභ්‍යාසය කියලා.

ඔන්න ඔහොම උපමා රූපක එලිසමය ව්‍යංගාර්ත අරව මේවා ඔක්කොම පැහැදිලි කලා.

පස්සෙ පෝන් එකෙන් දවසක් පැල නැති හේනෙ, වගේ සින්දුත් දාලා අහන්න දීලා පැහැදිලි කලා. එදාමයි කොල්ලා ඒ සින්දුව ඇහුවෙ.

ඔන්න ඔහොම ගේමක් ගහලා අන්තිම දවස් ටිකේ පේපර්ස් කෙරෙව්වා. ගෙදරදිත් කරන්න පේපර්ස් දීලා ඕන වෙලාවක කෝල් කරලා දන්නැති මගුලක් අහපන් කියලා කිව්වා. ගෙදර ගිහින් බැලුවම වට්සැප් මැසේජ් එකක් එවලා තිබ්බා. හරි සංතෝසෙන් රීඩ් කලාම ඒකෙ තිබ්බෙ අම්මට ආදරෙයිනං මේ මැසේජ් එක දහ දෙනෙක්ට ෆෝවර්ඩ් කරන්න කියල.

කොහොමහරි වෙලා තියන විදිහට වැඩිපුර ක්ලාසුත් කරලා වඩ ටික කෙරෙව්වා. අනිවා එයි කියලා හිතන විචාරවල උදාහරණ කටපාඩම් කෙරෙව්වා කොහෙන් හරි ගලපගන්න පුළුවන් වෙන්න.

මැසේජ් එකක් දාලා රිසල්ට්ස් කියලා තිබ්බා.

C එකක් තියනවා..

සතුටුයි ඉතින්. වෙන මොනවද..!!

# අකලංකාරය 

  - චමල් අකලංක පොල්වත්තගේ