Sunday, May 7, 2017

මහා රථාභිවාතක ව්‍යාධි කතාවත්තුව




== මහා රථාභිවාතක ව්‍යාධි කතාවත්තුව==


පෙර ටසිරිලක සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානෝ රාජ්‍ය විචාරන කල්හී සිදුවන්නට යෙදුනා වූ මහා රථාභිවාතක ව්‍යාධි කතාවත්තුව මෙසේ අරඹන්නාහ..

පෙර ටසිරිලක සරලාභිධාන නරේන්ද්‍ර මෙත්පල් නිරිඳානෝ තම රාජ්‍ය සරලව සාමෙන් විචාරන්නාහ.. පෙර මහින්දෝත්තම අධිරජාණෝ රාජ්‍ය විචෑරූ සමයෙහි මෙන්මැ මහජනතාවෝ මවට හොරෙන් බැටර් කටගෑ දරුවෙකු මෙන් බෝ සංතෘෂ්ඨියෙන් මේ ආදරයයි බලා දිවි ගෙව්වාහ.. රවිචන්ද්‍ර කාරුණික මහාමාත්‍යයාගේ පූර්ණානු දැනුමින් සකල කහවණු බදු වලින් නිදහස්ව සිටි ජනතාවෝ වංක බිරියගෙන් ඩිවෝස් වූ ස්වාමිපුරුෂයෙකු මෙන් ණය බරද බදු බරද රහිතව කල් ගත කළාහ.. ඇතැම් පුරවැසියෝ අමාත්‍යාංශ ඉදිරිපිටට පැමිණ අපෙන් බදු ගන්නැයි කියා බලහත්කාරයෙන් කහවනු මළු විසිකර ගියාහ..
තුන් වේලටම ෆ්‍රයිඩ් රයිස් කමින් උස ජනයා සිකුරුටිද මිටි ජනයා කම්මකාර ද සුදු ජනයා හුණු කර්මාන්තයේද කළු ජනයා නොරොච්චෝලේද සේවා කරමින් සුඛිත මුදිතව සේවය කළාහුය..

මෙසේ මෙත්පල් නිරිඳුන්ගේ සමයෙහි මහජනතාවෝ මරාගෙන මැරෙම බෝම්බයක් පුපුරවා ස්වර්ගස්ථව කන්‍යාවන් දෙසැත්තෑවක් සමගමැ සුව විඳින තලේබානුවෙකු මෙන් සුවෙන් සැපෙන් විසීමටැ හේතුව වි නම් මෙත්පල් සිරිසන් නිරිඳානන්ගේ අමාත්‍ය මණ්ඩලයේ ඇමතියන්ගේ දාහය මහන්සියේ ප්‍රතිඵලයෝමය..



පෙර මෙන් එකසිය ගණනින් නොවැ මහා අල්මාරි පසෙකලා හොඳපාලන කුඩා අල්මාරියේ සිටියේ ඇමැතියෝ පන්විස්සකි.. ඒ ඇමැතියෝ දිනෙක රන්සළු පළඳා සඳ නැති වේලාවේද.. පසු කරමින් මහ බඩ වැටි ඕවිටි කලර් ලයිට් ද.. පාළු සොහොන් පිටි තේ වතු රබර් වතුද.. ගල් මුල් වල පය පැටලිලි හැපි හැපි අනේක විද දුක්ඛ දෝමනස්සයෝ විඳිමින්මැ අයින් වෙලා පයින්ද.. මැදට වෙලා කෙලින්ද ගමන් කරමින් පෙර මහින්දෝත්තමයන්ගේ සමයෙහි ධවල රත වලින් ජනතාවගේ සුව දුක් සොයා බැලුවාක් මෙන්මැ රටවැසි දණන්ගේ සුවදුක් විචෑරීය..
මහා ගංගා පිටාරයකදී වුවද.. රුදුරු පර්වත වැටීමකදීද පිටසක්වලින් කශල ලෑ මොහොතකදීද ඇමැතියෝ මියගියවුන්ටත් පෙර එතැනට පැම්ණ සුව සලසා ජනයා දුකින් මුදවාලීය..
මෙසේ ඇමැතියෝ කප් සුවාසූ දහසක් දුක් විඳැ වෙනත් රාජ්‍යන්ගෙන් කහවණු පගෝධි ගණනින් දීමට ඇරැයුම් කරද්දී යාන වාහන ජාතික දිසාපාමොක් මණ්ඩප  පවා අඩමස්සකුදු ගණනකට නොගෙන තම දේශයේ ජනයාගේ සුවදුක් විචාරන දෙණියාය ජීවකයාණන් කෙනෙකු මෙන්  රටවැස්සෝටම සෙත් කරමින් කල් ගත කරන කල්හී ජනතා සේවයටම ගිය උනුන්ට නොයෙක් ආබාධයන්මැ ඇතිවීය..
එක් ඇමැතියෙකුගේ පශ්චාත්භාගයෙන් කොන්දේරුදා නම් දරුණු සත්වයෙකු ඇතුළු වී ශරීරකෘත්‍යය කිරීමට පවා නොහැකි වන්නාහ.. තවත් ඇමැතියෙකුගේ උණ්ඩුකපුච්ඡයට මස්තලුංගබෝජක නම් මොළය කා දමනා පණුවෙකු ඇතුළු වී මොළය ආහාරයට ගන්නට වන්නාහ.. තවත් වෙද ඇමැතියාගේ මුඛයෙහි සුනඛයෙකු බිජු ලෑම නිසා හේ ගොලු වන්නාහ.. සීනගප්පාරු රාජ්‍යට ගොස් එහි දිව්‍ය වෙදැදුරන් ලවා සුව කරගන්නැයි මහජනයා හඬා වැටී කීවිට මාගේ මේ ව්‍යායාමය කිසි කළෙකත් මවුන්ට් එලිසබෙත් යාමට නොවේ..රටවැස්සාගේ සුවයමැයි කියා පුස්කොළයක ලියා දී ජනතා සේවයෙහි යෙදුනාහ..
මෙසේ භගන්දරාභාදද.. ඩෙංගුද.. හිස රුදාද.. ගලපටලය, කක්කල් කැස්ස, ආදී අටඅකෞෂණියක් රෝගාබාධයන්ගෙන් අමාත්‍ය මණ්ඩලයම රෝගී වන්නාහ..
මෙසේ දිනකැ සියල්ලෝටම එකමැ රෝගයක් වැලඳිනි.. දහයේ රින්සෝ එකක් දමා කැලැතු කල පෙණ උතුරන්නාක් මෙන් කටින් පෙණ වගුරවිමින් ගැහෙමින් එකවරම බිම හොත්තේය..
එක් වර සිහි මදව උණ විකාරයෙන් " බෲම් බෲම් බෲම්..."" කියා අන්නශ්‍රෝතයෙන් කෑකොස්සන් නගන්නට වියැ..
වහා සයිටමාරෝග්‍යශාලාවට ඇතුලත් කරන ලද කල්හී රෝග විනිශ්චයෙන් කියැවූයේ " රථාභිවාතක " නම් භයානක රෝගය වැළඳී ඇති බවයි..
මෙයින් ගැලවුණේ නම් ඒ චාතූර්‍ය සෙනරතාණන් පමණි.. ඒ ඔහු අමරණීය නිසාවෙනි.. ඔහුගෙන් ගන්නාලද කෙල ස්වල්පයකින් එන්නතක් සාදා පොවා රෝගය සුව කළාහ...
එයටැ ඔසු ලැබුණද ජනතා සේවයට පාගමනින් යා නම් නැවතත් රෝගය උත්සන්න වන්නේමයැ..
 ඉදින් මේ පුවත් අසා නවකවදයෙන් දැයේ දරුවන් රැක්මට සටන්වදින අන්තරය මෙන්  ජනතාවෝ ලිප්ටන් වටරවුමට පැමිණ එහි බිම හිඳ ඉදින් අපට සෙත් පතා කටයුතු කළේ මේ ඇමැතියෝමයැ.. උනුන් මෙසේ රෝබියෙන් ඇලැලී ගියේමනම් ඒ අප නිසාමය. ඉදින් උන් මේ රථාභිවාතක රෝගයෙන් ගලවාලන්නයැයි කියා දෙවියන්ට කන්නලව් කරන්නට වන්නාහ..

සක් දෙවිඳුගේ පඬුපුල් අසුන වෙනත් ගැහැණු ළමයෙකුගේ පොටෝවකට තම පෙම්වතා විසින් දැමූ නයිස් පික් ඩියර් කොමෙන්ටුව දුටු පෙම්වතියකගේ දෑස මෙන් ගිණිගෙන දැවෙන්නට විය..
සිය පශ්චාත්භාගයෙන් නැගි දියපට්ටාව අතගාමින් විමසු කල්හී ටසිරිලක ඇමැතියන්ගේ රථාභිවාතක රෝබිය දැක බටහිර කුමන්ත්‍රණයක් දුටු විමලානන් මෙන් කෝපාග්නියෙන් දැවී

"මා සක් දෙව් දූරයේ සිටිනා කල.. මෙවන් උතුම් පුරුෂයන් අයින් විලා පයින් ගියේ කෙසේද කෙසේද කෙසේද..."

 කියා රැජිනි කාන්ත් මෙන් පා පිට පා දමා..
රතාචාර්‍යා වූ මාතලී කැඳවා

"එම්බා මාතලිය..වහාම මේ උතුම් ඇමැතියන්ට කහවණු දහස් කෝටියක දිව්‍ය රථ මවාපියවයි..."

කියා නියෝග දුන්නාහ..

එසැණෙහිම සකල ටසිරිලක ඇමැතියෝට ඖඩියෝද.. බෙන්සාද.. ජගුවරාද.. ප්‍රාඩෝමොන්ටේරෝ ආදී නේක රථ හස්ති ආල තෙරුන්ගේ මැතිණියාරාමයෙහි ඇත්පැටවා පහළ වූවාක් මෙන් පහළ විය..
ඉදින් ඒ රථ වලින්මැ ගමන් කරමින් ටසිරිලක ජනයාට සෙත සලසමින් ඇමැතියෝ කල් ගත කළාහ..

මෙය දුටු ටසිරිලක වැසියෝ සාධුකාර දී සක් දෙවිඳු වැඳ සුවෙන් සැපෙන් සයිටමායට  යමින් කල් ගත කළාහ..!!

මේ සිදුවීම දැක පෙර පඬිවරුන් මෙසේ කවි පදද නගා ඇත..

පෙරව රතාවාතක රෝබියම..............වටින්
දුරුව නොයන මැති දුක් දෙපතුලම.....පිටින්
තරව සිහි ඇතිව එය දුරු කරන.........අටින්
මැවුව සක් දෙවිඳු ප්‍රාඩෝ බෙන්ස්........පිටින්

අකලංකාරයෙහි එන මහා රථාභිවාතක ව්‍යාධි කතාවත්තුව නිමියේයැ..


#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

6 comments:

  1. //පෙරව රතාවාතක රෝබියම..............වටින්
    දුරුව නොයන මැති දුක් දෙපතුලම.....පිටින්
    තරව සිහි ඇතිව එය දුරු කරන.........අටින්
    මැවුව සක් දෙවිඳු ප්‍රාඩෝ බෙන්ස්........පිටින්// This is the best...!

    ReplyDelete
  2. ඉතා අගීයැ ඉතා අගීයැ...තොපගේ අගනා කථා වත්ථුව කියවා අප පික්ෂු සැදී වදාළ බව මෙසේ සටහන් කොට තබම්හ!!

    ReplyDelete
  3. හයියම්මා, මේ පොල්වත්තැයෝ කෙසේවූ ලියන්නෙක්දැ යත්, උහු අපැ දන්ත කුට්ටමාදීන් සොලවන්නාහ.

    ReplyDelete
  4. ඉක්බිතිවැ පූජිතයාණන් මග රැක..දුෂ්ට පොල්වත්තයා ගෙලින් ගෙන තලා පියා හොඹු රිවට් කර අස්ථි යුවල ලාච්චුවක ලා පීය...

    ReplyDelete