Friday, March 31, 2017

ඕකා අරුන්ට උදව් කළා.. උස්සලා මරපු එකමයි හොඳ


"  "

ඇස ගැටුණු ප්‍රකාශයකි..
මෙහි " අරුන් " යනු යම් අපරාධ කණ්ඩායමක් ලෙස ගනිමු.. උස්සා මරා ඇති බවට සැක කෙරෙන්නේ රාජ්‍ය යාන්ත්‍රණයයි..
ප්‍රජාතන්ත්‍රවාදය නීතියේ ආධිපත්‍යය මානව හිමිකම් මූලික මිනිස් අයිතිවාසිකම් ගැන කතා කරන ලෝකයක තවමත් මේ රටේ මිනිසුන් නොදියුණු ගෝත්‍රිකයන් ලෙස හැසිරෙන්නේ ඇයිදැයි මම නොදනිමි..
මෙලොව ඕනෑම මනුෂ්‍යයෙකුට ගෞරවාන්විතව ජීවත්වීමට හා ගෞරවාන්විතව මියයාමට ඇති අයිතියට මම හිසනමා ගරු කරමි.. එය පිළිගනිමි..
එය සියළු පුරවැසියන්ට අදාල වන විශ්වීය එකක් විය යුතුය යන පදනමෙහි පිහිටමි.

යමෙක් අපරාධයකට සම්බන්ධයක් ඇත්නම් එයට පවතින නීතිය ක්‍රියාත්මක විය යුතුය.. ඔහු අපරාධකරුවෙකු ලෙස ඔප්පු වුවහොත් නීති ප්‍රකාරව ලැබිය යුතු දඬුවම ලැබිය යුතුය.. එහි තර්ක දෙකක් නැත..
නමුත් යමෙක් අපරාධකරුවෙකු ලෙස සැකකළ පමණින් ඔහුට එරෙහිව රාජ්‍ය විසින් නීතිය ක්‍රියාත්මක කරන්නේ පැහැරගෙන යාම,අතුරුදන් කිරීම, ඝාතනය කිරීම වැනි අපරාධකරුවන්ගේ නොදියුණු ගෝත්‍රික කැලෑ ක්‍රමයටමනම් අපරාධකරුවන් හා ශිෂ්ඨ සම්පන්න රාජ්‍ය අතර බෙදුම් ඉරට සිදුවන්නේ කුමක්දැයි දෙවරක් සිතා බැලිය යුතු නැත.. එය වැරදිය.. එය රාජ්‍ය ත්‍රස්වාදය මිස වෙන කිසිවක් නොවනු ඇත..



යමෙකු ඒ තිරිසන් ක්‍රමයට අනුමත කරයිනම් හේ ද ඒ තිරිසන් රාජ්‍යත්‍රස්තවාදයට අනුබල දෙන ත්‍රස්තවාදියෙකු මිස අන් කිසිවෙකු නොවන්නේය..

රාජ්‍ය විසින් නීතිය යොදාගනු ලබන්නේමද රාජ්‍ය, ත්‍රස්තවාදි ගෝත්‍රික තත්වයෙන් වෙන් කිරීමටය.. එමගින් සියලු දෙනාටම තම නිර්දෝෂීභාවය ඔප්පු කිරීමට ඉඩ ලබා දෙයි.. සියල්ලන්ටම සාධාරණය හා යුක්තිය ඉෂ්ට කළ හැකි වන්නේ එවැනි පරිසරයක් තුලදී ය.. මේ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය ආයතනික ධූරාවලි ගණනකින් සැදුම්ලත් හා බලයලත් පද්ධතියක් ලෙස වසර දහස් ගණනක පරිණාමික ක්‍රියාවලියකින් පසු මේ තත්වය ළඟා කරගත්තේ ශිෂ්ඨ සම්පන්න සමාජය තුළ සියලු පුරවැසියන්ගේ ගෞරවාන්විතව ජීවත්වීමේ අයිතිය හා නිදහස සුරක්ෂිත කිරීමටය..
එය රැකීමට බැඳී සිටින රාජ්‍යය විසින්ම අපරාදකරුවන්ගේ ක්‍රමයෙන් යුක්තිය පසිඳලන්නේනම් ( ඔවුන් කියනා පරිදි ) , ඒ යුක්තිය ලබා ගැනීමට සිටින පුරවැසියන්ද එම ම්ලෙච්ඡ ක්‍රමය අනුමත කරන්නේනම් තවදුරටත් මේ සමාජය තුළ ගෞරවාන්විතව ජීවත්විය හැකිද..??

මෑතදි සමාජජාල තුල දකින්නට ලැබුණු ප්‍රකාශයක් මේ මොහොතේ දී සිහි කරමි..

"ප්‍රශ්ණය තමන්ගේ නොවන තාක්කල් පිළිතුර දාර්ශනික වේ" යන්නය.

රාජ්‍ය ත්‍රස්තවාදී ක්‍රියාවන් වලට අනුබල දෙන., එම ක්‍රියාවන් අනුමත කරනවුන්ට කියන්නට ඇත්තේද එයමය..

තවකෙකු රාජ්‍ය ත්‍රස්තවාදී යාන්ත්‍රණය විසින් පැහැරගෙන ,අතුරුදන් කර හෝ ඝාතනය කළ විට එය නිර්ලජ්ජිතව අනුමත කරන්නන්ට ඒ ක්‍රියාවලිය තමන්ට තමන්ගේම සමීපතමයෙකුට ආදේශ කළ විට එකඟ වන කිසිවකු නොසිටිනු ඇත.. එවිට පිළිතුර දාර්ශනික නොවනු ඇත..
ඒ රාජ්‍ය ත්‍රස්තවාදය තුල කිසිදු සාධාරණයක් යුක්තියක් හෝ නැති නිසාය..එය යුක්තියේ මුවාවෙන් පැමිණෙන පෞද්ගලික දේශපාලන උවමනාවන් සංතෘප්ත කරගැනීමේ දේශපාලන යාන්ත්‍රණයක් පමණි.. එය ඕනෑම අවස්ථාවක ඕනෑම පුරවැසියෙකුට එරෙහිව ක්‍රියාත්මක විය හැක..

එබැවින් කුමන අපරාධකරුවෙකුට එරෙහිව වුවත් යුක්තිය පසිඳලිය යුත්තේ පවතින පිළිගත් නීති ප්‍රකාරව මිස තිරිසන් ත්‍රස්තවාදී ක්‍රමයෙන් නොවේය.. අපරාධකරුවෙකු වන තෙක් ඕනෑම පුද්ගලයෙකු සැකකරුවෙක් පමණි.. එම නිසා ඔහුට ඔහුගේ පාර්ශවයෙන් අදහස් දැක්වීමේ අයිතියට ශිෂ්ඨ සම්පන්න සමාජයක් ගරු කළ යුතුය.

ඒ වගේම යමෙක් අපරාධකරුවෙකු ලෙස නීතිය ඉදිරියේ ඔප්පු වී ඇති විට ඔහුගේ රැකියාව තරාතිරම හෝ ඔහු කරල ලදැයි සම්මත සේවයක් මත පවතින නීතිය ඔහුට විරුද්ධව ක්‍රියාත්මක නොවෙයිනම් හෝ එසේ නොවීමට බලපෑම් වේ නම් එයද අශිෂ්ට ගෝත්‍රික ලක්ෂණයක් බව සිහිපත් කරගත යුතුය..

ඒ නිසා කිසිදාක රාජ්‍යත්‍රස්තවාදය සාධාරණීකරණය වන්නේ නැත.. එය ප්‍රජාපීඩක මර්ධන දේශපාලන යාන්ත්‍රණයක් පමණි..
එම නිසා දියුණු පරිණාමික ශිෂ්ඨාචාරගත මිනිසුන් ලෙස යුක්තිය පසිඳලීමට සම්මත කරන ලද නීතියේ යාන්ත්‍රණයට ගරු කිරීම කළ යුතු බව අවධාරණය කරමි..

#අකලංකාරය
  - චමල් අකලංක පොල්වත්තගේ

4 comments:

  1. යකඩෝ.. එකෙක්වත් මේකට කොමෙන්ට් එකක් දාල නෑනේ. :/

    ත්‍රස්තවාදය මෙන්ම ත්‍රස්තවාදයට ත්‍රස්තවාදයෙන් පිළිතුරු දීමද එක ලෙසම හෙලා දැකිය යුතුයි. නමුත් අවාසනාවට ඔය දෙකටම වීරත්වය ආරෝපණය කිරීමට නොපසුබට සමාජයක අපි ජිවත් වෙන්නෙමු.

    කවදා පායත්ද අප පුන් සඳාණෝ කියල තමයි දුක් වෙන්න වෙන්නේ.

    ReplyDelete
  2. හරියට හරි.සන්ධ්‍යා එක්නැළිගොඩ මෙලනියා ට්‍රම්ප් ගෙන් ගත් සම්මනය ගැන මුහුණු පොතේ පිටුවක ගිය සංවාදයකදී සමහරු අදහස් දක්වා තිබුනේ ඔය විදියටම තමයි.මිනිස්සු ශිෂ්ඨාචාරගත වෙනවා වෙනුවට කෑලෑ නීතිය වෙනුවෙන් පෙනි සිටීමම පිළිකුල් සහගතයි.

    ReplyDelete
  3. ඇතුවත් නීති අපමණ පොත්වල ලියලා
    තවමත් ගැටලුවක් මෙහි වෙන දේ දැකලා
    හිතවත් වරදකරුවන් නිවැරදි කරලා
    දැම්මත් හිතේ ඇත හොර හිත තව රැඳිලා...

    ජයවේවා!!!

    ReplyDelete
  4. //"ප්‍රශ්ණය තමන්ගේ නොවන තාක්කල් පිළිතුර දාර්ශනික වේ"//

    මෙම දාර්ශණික භාවයෙන් මිදෙන දෙකොටසක් ඉන්නවා.

    ත්‍රස්තවාදය නිසා ඇතිවුණ රජයේ භීශණයට මුහුණ දුන් අය තමන්ට වූ අය එක පැත්තකින් මිදී රජයේ භීශණට දිවි හිමියෙන් විරුද්ධ වේ.

    ත්‍රස්තවාදීන්ගේ භීශණයට මුහුණ දුන් අයත් මිදී ත්‍රස්තවාදීන්ට එරෙහි රජයේ භීශණයට පක්ෂ වේ.

    දෙකටම මුහුණ නොදුන් අයට ඇත්තේ එක් පැත්තක් හරි අනෙක් පැත්ත වැරදි යන දර්ශනයයි.

    ReplyDelete